Karnan [2021] – සූර්ය පුත්‍ර කර්නන්

[email protected]May 19, 2021Views 18K

1995 කොඩියන්කුලම් සිද්ධිය මුල්කොටගෙන 1997 කාල රාමුවට මාරි සෙල්වරාජ් – ධනුෂ් සුසංයෝජනය සමග නිකුත් වූ කර්නන් චිත්‍රපටයට දැනට IMDB අගයද 8.5/10 ලැබී තිබෙනවා.
චිත්‍රපටයේ වස්තු බීජය වන්නේ අවම පහසුකම් යටතේ පවතින පුඩියන්කුලම් නම් ගමකට බස් නැවතුමක් නොමැති හෙයින් ඇතිවන අර්බුදකාරී තත්වයයි.
යාබද ගමේ බස් නැවතුම්පලට ගොස් එහිදී ඇතිවන ගැටුමකින් චිත්‍රපටයේ කතාව එකම මට්ටමකට ගලාගෙන යයි.
ධනුෂ් මෙහිදී නාහෙට නාහන කර්නන් නම් ගැමි තරුණයකුගේ චරිතයක් නිරූපණය කරන අතර ඔහු සමගම යෙමන් නම් වැඩිහිටියෙක්ද සිටියි.මෙම යෙමන් නම් චරිතය ප්‍රකට නළුවකු වන ලාල් විසින් රඟ දක්වයි.
ධනුෂ්ගේ චරිතය නිර්මාණය කර ඇත්තේ පොඩි දෙයටත් ප්‍රචණ්ඩ කාරී වන ඇට්ටර තරුණයකු ලෙසයි.
එහිදී කර්නන් නම් මෙම චරිතය මහාභාරතයේ කර්නන් ලෙසම සෑමවිටම පාහේ හිතුවක්කාරකම නිසා කරදර වලට පැටලෙන්නෙකු ලෙස නිර්මාණය කර ඇත
එහිදී ධනුෂ්ගේ රංගනය පිළිබඳ කතා කිරීමේදී එහි කිව යුතු ඇද පළුද්දක් නැත.එලෙසම ධනුෂ්ගේ රංගන පෞරුෂය ට ගැමි තරුණයා නම් භූමිකාව මනාව ගැලපෙන බව මින් සනාථ කරගත හැකිය.
එලෙසම මෙහි රඟන අනෙක් නළු නිළියන් ගේද චරිතවලට ඔවුන් උපරිම සාධාරණයක් ඉටුකරන බව නරඹන්නෙකුට වටහාගත හැක.
මෙහිදී අධ්‍යක්ෂවරයා මෙම චිත්‍රපටය කොඩියන්කුලම් සිද්ධියට සම්බන්ධ නැති බව පැවසුවද සිද්ධීන්හි සමානකම් දක්නට ඇත.
මාරි සෙල්වරාජ්ගේ ප්‍රථම නිර්මාණය වන pariyerum Perumal මෙන්ම මෙයද කලාත්මක නිර්මාණ ගණයට මෙයද අයත් වේ.
එහිදී මෙන්ම මෙහිදීත් යෝගි බාබු රංගනයෙන් දායක වන අතරම ඔහුගේ සුපුරුදු හාස්‍යජනක රංගන න්‍යායෙන් මිදුණු චරිතයක් මෙහිදීද ඔහු රඟදක්වයි.
චිත්‍රපටයේ rajeesha vijayan ද්‍රෞපතී ලෙස දක්වන රංගනයද විශිෂ්ටයි.
එලෙසම මෙහිදී පොලිස් නිලධරියගේ චරිතය රඟදක්වන natarajan subramanium ඔහුගේ චරිතය ප්‍රේක්ෂකයන් ගේ වෛරයට පාත්‍රවන ලෙස රඟදැක්වීමට ඉතා දක්ෂ වී ඇත.

ඉන්දියාවේ කුල භේදය ඉතාතදින් පවතින අතර ඔවුනොවුන් අතර දරුණු ලෙස ගැටුම් ඇතිවන්නේ කුලයන් වලට ඇති හීනමානයටයි.
මෙහිදීද ගම් දෙක අතරේ රණ්ඩු සිදුවෙන්නේද ඉහත කී කුල භේදය නිසායි.
එලෙසම පොලිස් නිලධාරියා ගමට පැමිණි අවස්තාවෙ පුටුවක් නොදීම ,ජටාව නොගැලවීම ආදී තර්කයන් හේතුකොටගෙන ගමේ වැඩිහිටියන් පොලිසියට ගෙන්වා ඔවුන්ට දරුණු ලෙස පහරදෙන්නේ ද පහත් යයි සම්මත කුලයකින් ඔහුට ලැබුණු අවමානය දරාගත නොහැකිවයි.


එහිදී එම මහලු මිනිසුන් හට පහර දෙන අයුරු බලන්නාගේ හැඟීම් තීව්‍ර කිරීමට සමත් වී ඇත.
චිත්‍රපටයේ මුල් භාගය තරමක් කම්මැලි වුවද
පසු භාගය බලාපොරොත්තු වනවාටත් වඩා උද්වේගකාරී වීම මගින් චිත්‍රපටය දෙස එක එල්ලේ බලා සිටීමට ප්‍රේක්ෂකයාට හැකිවී ඇත.
චිත්‍රපටයේ සංකේත බහුලව භාවිත කරන අතර චිත්‍රපටය ආරම්භ වන්නේ කර්නන්ගේ නංගි මහපාරේ මියදෙමින් සිටින දර්ශනයකිනි.එතැන් පටන් සෑම උද්වේගකාරී සිද්ධියක් සිදුවන විටම වෙස්මුහුණක් පැළඳ සිටින දර්ශනයක් දක්වන්නේ මේ සෑම දෙයකටම හේතුව වන්නේ ඇයගේ මරණය බව දැක්වීමට හෝ සමස්ත ඉන්දියානු ජනතාවගේ හෘද සාක්ෂිය ඉදිරිපත් කිරීමටයි.
කකුල් බැඳ තබා ඇති බූරු පැටවාගෙන් කර්නන් සංකේතවත් වන බව මගේ අදහසයි.
එතෙක් කර්නන් ගමේ සියලුදෙනාගෙන් සීමාවී ඇති අතර කර්නන් බූරු පැටවාගේ බැමි ලිහීමෙන් අනතුරුව චිත්‍රපටයේ දිශානතිය සම්පූර්ණයෙන් වෙනස් වෙයි.


එහිදී සංකේත භාෂාව උපරිමයෙන් තබාගනිමින් චිත්‍රපටයේ කලාත්මක ගුණය ආරක්ෂා කරගැනීමට නිර්මාණ කරු සමත් වී ඇත.
එලෙසම යෙමන්ගේ ගිනි තබාගැනීම මගින් එක් අතකින් ඉන්දියානු ජනතාවගේ ජීවිතවල ඛේදවාචකය මනාව පිළිබිඹු කරන අතරම රජයේ අකාර්‍යක්ෂමතාව තුළින් ජනතාවට වන පීඩනය ද ,එලෙස එකතුවන පීඩනය එක් මොහොතකදී දරුණු ලෙස පිටවන බවත්මෙහිදී මනාව පසක් වෙයි.
චිත්‍රපටයේ සමස්තයක් ලෙස ගත් කළ නරඹන්නෙක්ට නරඹන ලෙස යෝජනා කළ හැකි මට්ටමේ විශේෂ චිත්‍රපටයක් බව සඳහන් කළ හැක.
විශේෂයෙන් ම අධ්‍යක්ෂකවරයා ඇතුලු ශිල්පීන් සමූහයේ නිෂ්පාදන කාර්‍යයද ,රංගන කාර්‍යයද ගත් කළ මසාලා රැල්ලෙන් බාහිර වූ මෙවන් කලාත්මක නිර්මාණයන් ද දෙමළ සිනමාවේ ඉදිරියට දැකගත හැකිවන බව බලාපොරොත්තු විය හැකිය.
සිනමා නිර්මාණයෙ සියලු දර්ශනයන් දැනෙන්න උත්ප්‍රේරකයක් ලෙස santhosh narayanan ගේ උද්වේගකාරී සංගීතය උපකාරී වී ඇත.
ජන සංගීතය බෙහෙවින් යොදාගෙන ඇති මෙහි නාදමාලාව පවා ගැමි සංගීතයන්ගෙන් පැන නැගුනු ඒවාය.

📌️කතෘ අයිතිය – කවීෂ සන්දීප

Categories
Tags

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published